’බුවනෙක හෝටලයේ’ නඩුව ගැන පරීක්ෂණයක්




(සුජිත් හේවාජුලිගේ )

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු කුරුණෑගල   බුවනෙක හෝටලය පිහිටි ගොඩනැගිල්ල  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කඩා බිඳ දමා   විනාශ කරන ලදැයි  චෝදනා එල්ලවූ  එහි මහනගර සභාවේ  ප්‍රධානීන්ට  ඔවුන්ගේ   නීතිඥ ගාස්තුවූ රුපියල් එක් කෝටි දහසය ලක්ෂයකට වැඩි   මුදලක්   එම නගර සභා අරමුදලින් නීති විරෝධී ආකාරයට  ගෙවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ජාතික විගණන කාර්යාලය  විශේෂ විමර්ශනයක්  ආරම්භ කර ඇත.

මේ සිද්ධියට අදාළව  නගර සභා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා  රිට් පෙත්සමක්  ගොනු කිරීම සඳහා නීතිඥ ගාස්තු ලෙස රුපියල් හැත්තෑ අට ලක්ෂයක්ද  සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු  කමිටුවට තොරතුරු ඉදිරිපත් කිරීමට  නීතිඥ උපදෙස් ලබා ගැනීම සඳහා රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක මුදලක්ද තවත් නඩු කිහිපයක නඩු ගාස්තු  ලෙස රුපියල්  දහ සය  ලක්ෂ  හතළිස් හත්දහස් පන්  සියයක මුදලක්ද  නගර සභා අරමුදලින් මෙසේ නීති විරෝධීව ගෙවා ඇතැයි  විගණන  විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මහනගර සභාවක් සතු දේපළ වලට හානි කිරීමක් සිදුවූ අවස්ථාවන්හිදී නීතිඥ ගාස්තු හෝ වෙනත් වියදම් සභා අරමුදලින්  ගෙවීමට කිසිදු ප්‍රතිපාදනයක් සලසා නැතැයි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු විගණන වාර්තාවක සඳහන් වේ.

බුවනෙක හෝටලය පිහිටි ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කඩා බිඳ දමා ඇතැයි පැවසෙන්නේ පසුගිය 2020 වසරේ ජුලි මස  21 වැනිදාය. මෑත කාලයේදී  මේ සිද්ධිය  රටේ මහත් ආන්දෝලනයකටද  ලක්විය.