
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට පෙරටත් වඩා සහායක් ලබාදීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාව සමග සිටි පරිද්දෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවතත් නැගී සිටීමට මෙරට දරන උත්සාහයේදී ද ඉන්දියාව පෙරටත් වඩා ශ්‍රී ලංකාව සමග සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම සඳහා රුපියල් කෝටි 13,884 ක පමණ සහන පැකේජයක් රැගෙන තමන් මෙරටට පැමිණි බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
යළි නැගිටීම සඳහා මෙරටට ලබාදෙන සහන පැකේජයෙන් ඩොලර් මිලියන 350 ක් ලබා දෙන්නේ සහනදායී නායක ලෙස බවත් ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදල ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙස බවත් ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහන පැකේජය මෙරට රජය සමග සාකච්ඡා කරමින් අවසන් කෙරෙමින් පවතින බව ඔහු පැවැසුවේය.
ඉන්දියාව අංශ පහක් ඔස්සේ මෙරටට සහාය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. හානිවූ පාලම්, මෙරට මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නැවත යථා තත්වයට පත් කිරීමට සහාය ලබාදීමට ඉන්දියාව ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
එසේම අර්ධ වශයෙන් සහ සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස නැවත ගොඩ නැගීමට, සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධතිය නැවත නගා සිටුවීමට, කෘෂි කර්මාන්තයට සහ වඩාත් හොඳින් ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම සූදානම් කරවීමට සහන පැකේජය යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

