(කුෂාන් ජයවර්ධන)
අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ ජනතාවට එපා වෙලා තියෙනවා, අපිම කියනවා පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන 225 ම එපා කියලා. හැබැයි මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා උපාධිධාරීන් හමුවේ පැවසීය.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික උපාධිධාරීන් සමඟ අද (05) අනුරාධපුරයේදී පැවති සාකච්ජාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා මෙසේ කීය.
"ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුන නිසා ශක්තිමත් වුණ නිසා පෝෂණය වුණ නිසා ඔබතුමන්ලාගේ දෙමාපියෝ මේ පක්ෂය පෝෂණය කරපු නිසා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල වැඩ කොටසක් කරන්න අතීතයේ ඉඳන් ලැබිලා තියෙන්නේ. අපි ආණ්ඩු හදාගත්තේ ජනාධිපතිවරු බිහි කර ගත්තේ පළාත් සභා දිනා ගත්තේ මේ සේරම දිනා ගත්තේ ඔබතුමන්ලාගේ දෙමාපියෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරපු නිසයි. ඒ වගකීම එතනින් එහාට ඔබතුමන්ලාට තියෙනවා. දෙමාපියන්ගෙන් පස්සේ ඔබතුමන්ලා ගමේ දේශපාලනය කරන්න ඕන දේශපාලනය ගැන කථා කරන්න ඕන.
අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ එපා වෙලා තියෙනවා, අපිම කියනවා මේ පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන කියලා, 225 ම එපා කියලා කියනවා.
මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවාද? එපා වුණා කියලා දේශපාලනය අතාරින්න බෑ.මේකේ නරක මිනිස්සු ඉන්නවා, හොඳ නැති කණ්ඩායම් ඉන්නවා කියලා මේක අපි අතෑරියොත්, කළකිරුණොත් ආයේ තව වැඩක්ම නැති පිරිසක් තමයි මේ රටේ පාලනය භාර ගන්නේ, මේ රටේ නායකයෝ බවට පත් වෙන්නේ, එහෙම නම් මේක අතාරින්න පුළුවන්කමකුත් නෑ.
නරක ගොඩේ හොඳ ටිකත් එක්ක ගමනක් යන්න වෙනවා.එහෙම නොවුනොත් එහෙම රටට අපි කරන්නේ විශාල අසාධාරණයක්, එහෙම නම් ඒකේ වගකීම ඔබතුමන්ලා ගත යුතු වෙනවා.
අද මේ රටේ තරුණයෝ බොහෝම විවෘතව දේශපාලනය කථා කරනවා. අම්මාගෙයි තාත්තගෙයි පක්ෂය කියලා තරුණයෝ පක්ෂ තෝරන්නෙත් නෑ.අම්මාගෙයි තාත්තගෙයි නායකයා කියලා නායකයෝ තෝරන්නෙත් නෑ.අද තරුණ පරපුර තනියෙන් හිතන්න, රට ගැන හිතන්න, තරුණයින්ගේ අනාගතය ගැන හිතන්න, රටේ අනාගය ගැන හිතලා අද විශාල වශයෙන් සමාජ මාධ්‍යයෙහි විශාල වශයෙන් අදහස් දක්වනවා, විවේචනය කරනවා.මේ සියලු දේම තරුණයෝ කරනවා.උගත් බුද්ධිමත් තරුණ පිරිසක් ලෙස ඔබතුමන්ලාත් පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, තම තමන්ගේ නායකයෝ වෙනුවෙන් යම් හඩක්, යම් මතයක් ගොඩ නගන්න අවශ්‍යයයි‘ යැයිද ඒ මහතා කීය.

