(චමිල් රුපසිංහ)
වෛද්‍ය සාෆිගේ සිද්ධියට අදාළව කාන්තාවන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ 1000 ක් පමණ ලබාගෙන තිබෙන බවත් ඒ සියල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
කාන්තාවන් වඳ භාවයට පත් කළේද යන්න සත්‍ය වශයෙන්ම දැන ගැනීමට විශේෂඥ පරීක්ෂණ අවශ්‍යය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේය.
මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වෛද්‍ය සාෆි සතු වත්කම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත් මේ පිළිබඳ අවබෝධයක් නොමැති අය විවිධ ප්‍රකාශ කරන බවත් මෙහි පරීක්ෂණ තවම අවසන්ව නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන් කර ඊට අදාළ උදෘත ගොනුව නීතිපති වෙත කඩිනමින් බාර දීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවත් සිද්ධියට අදාළ විමර්ශන සඳහා කාලයක් ගතවන බවත් මේ වන විට විශාල විමර්ශන සංඛ්‍යාවක් සිදුකර අවසන් බවත් රුවන් ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ මේ වන විට ජීවතුන් අතර සිටින සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බවත් ඊට වක්‍රව සහය දුන් පිරිස් මේ දිනවල වරින් වර අත්අඩංගුවට ගනිමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් එහිදී පැවසීය.

