‘‘එංගලන්තයෙන් අපද්‍රව්‍ය ගෙන්වූ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා‘‘


(නිමල කොඩිතුවක්කු)

එංගලන්තයෙන් අපද්‍රව්‍ය මෙරටට රැගෙන ආ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී පැවසීය.

එමෙන්ම එම අපද්‍රව්‍ය යළිත් එංගලන්තයට යවන ලෙසට අදාළ සමාගමට නියෝග කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු  ශ‍්‍රවණාගාරයේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේ ද කීවේය.

      ‘‘ශ්‍රී  ලංකාවේ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර්  හැටපන්ලක්ෂ හැට එක්දහසක් වෙනවා. 2010 සංගනනය අනුව මේකෙන් සියයට 29.7ක් තමයි  අපේ රටේ වනගහනය කියලා තිබුණේ. අපි නිදහස ලබා ගනිද්දි සියයට 45ක්ම වනගහනය තිබුණා.

වර්ෂයට සීයයට 1.5 වගේ ප‍්‍රමාණයකින් වන ගණත්වය අඩුවුණා. අපි නව රජය යටතේ වන ගහනය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශාල වැඩපිළිවලක් ගෙන ගියා.

අපි සිදුකළ නවතම සංගනනයක් මත අපේ වන ගනත්වය මේ වනවිට සියයට 29.3ක් බවට අනාවරණය  වෙලා තියෙනවා. මේ තාක් කල් සිදුවූ වනසංහාරයට සාපේක්ෂව සාධනීය මට්ටමක වනගහනය තිබීම ගැන අපි සතුටු වෙනවා.

අපි මේ වනවිට  වනයක් නැතුව  පවතින රජයේ ඉඩම් හෙක්ටයාර් අනූ පන්දහසක්  හොයාගෙන තියෙනවා. මේ ඉඩම් වගා කරන්න හෙක්ටයාර් එකකට ලක්ෂ හතරක පමණ මුදලක් වැය වෙනවා. මේක රජයට තනිව  කරන්න පුළුවන් දෙයනක් නෙමෙයි. ඒ නිසා අපි  මේකට සහාය දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හැබැයි මෙතනදී වනාන්තරය බදු දීමක්, කුලීයට දීමක්, ගස් බදු දීමක් කරන්නේ නැහැ.

අපට ඊළඟට තියෙන අභියෝගය තමයි  කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩසටහන. මේ රටේ තිබෙන ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය බාහිර පරිසරයට මුදා හරිනවා.  මේ වෙනුවෙන් අපි විශාල වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරගෙන යනවා.

කසළ  අඩංගු බහාලුම්  මෙරටට ගෙන්වීම ගැන ප‍්‍රශ්නයක් මතු වී තිබෙනවා. 2017 සහ 2018  වසරේදී පමණක් අපද්‍රවය අංඩංගු බහාලුම් 241 එංගලන්තයේ සිට මෙරටට ආනයනය කරලා තියෙනවා.  මේවායින්  130ක් කටුනායක භූමිගත වෙලා තියෙනවා.

මේ වගේ අපද්‍රව්‍ය  ගේනවිට රේගු පනතින් සහ ආනයන  සහ අපනයන පාලන පනතින් මේවා  ආවරණය වෙනවා.  ඒ නිසා  ඒ සඳහා විශේෂ අවසරයක් ගත යුතුයි. නමුත් 2013 වසරේදී එවක රජය නව පනතක් මගින් රේගු පනත සහ ආනයන, අපනයන පාලන පනත අභිබවා කටයුතු කිරීමේ අවස්ථාවක් සලසා දීලා තියෙනවා.

නමුත් කසළ සඳහා පරිසර අධිකාරියේ අපේ පනතක්  තියෙනවා. ඒ පනත යටතේ කොටින්ම අපි කසළ ගේන්න දෙන්නෙම නැහැ.

මේ සමාගම ආයෝජන මණ්ඩළය යටතේ ඇති සමාගමක් නිසා මේ අපද්‍රව්‍ය ගෙනල්ලා තියෙනවා. හැබැයි  මේ කාර්ය භාර්යය ආයෝජන මණ්ඩළයෙන් අනුමත කළ යුතුයි. නමුත් ඒක අනුමත කරලා නැහැ. ආයෝජන  මණ්ඩළය අනුමත කරද්දි ඔවුන් අපෙන් නිර්දේශ ගත  යුතුයි. ඒ නිර්දේශ අරගෙනත් නැහැ.

ඒ නිසා අපෙන් නිර්දේශ නොගෙන  මේ ක‍්‍රියාදාමයක් සිදුකිරීම පිළිබඳ ඒ ගෙන්වන ලද  ආයතනයට විරුද්ධව අපි නඩු පවරන්න කටයුතු කරගෙන යනවා. මේ අපද්‍රව්‍ය අපේ රට තුළ විනාශ කරන්න බැහැ යළිත් එංගලන්තයට යවන්න කියලා ඒ වගේම අපි නියෝග කරලා තියෙනවා. අපි මේක අත අරින්නේ නැහැ’’ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවැසීය.