(ගයාන් සූරියආරච්චි)
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය වෙනුවෙන් දකුණු පළාතේ සිදුකළ ඉදිකිරීම් සඳහා ලැබිය යුතු මිලියන 1800 ක මුදලින් මිලියන 160 ක් පමණ මාස තුනක් තිස්සේ පමාවීමෙන් ඉදිකිරීම්කරුවන් දුෂ්කරතා රැසකට මුහුණදී ඇති බව දකුණු පළාත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් බී.ඩබ්ලිව්. ඕ.ජී. වෛද්‍යරත්න මහතා පැවැසීය.
කොන්ත‍්‍රාත්කරුවන් ලබාගෙන ඇති බැංකු ණය සඳහා පොලී ගෙවීමටත් ළඟ එන අවුරුදු සමයේ සේවකයන්ට පාරිතෝෂික ලබාදීමටත් නොහැකිවී ඇතැයි වෛද්‍යරත්න මහතා කීය.
දකුණු පළාත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සහ දකුණු පළාත් සභාව අතර එම ව්‍යාපෘති සම්බන්ධව ගිවිසුම් අත්සන් කර තිබූ අතර පසුගිය දෙසැම්බර් මාසයේ එම ව්‍යාපෘතිය අවසන් වූ බව ඉදිකිරීම් සංගමයේ ලේකම්වරයා කීය.
දකුණු පළාතේ සිදුකළ ඉදිකිරීම් සඳහා අවසන්වරට මුදල්වලින් කොටසක් ලැබී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ බවත් මේවන විට මාස 3 ක පමණ කාලයක් තිස්සේ මුදල් ලැබීම් පමාවී ඇති අතර එම ව්‍යාපෘතිය ඉදිරියට ක‍්‍රියාත්මකවේද යන්න සැක සහිත බවත් වෛද්‍යරත්න මහතා කීය.
ඒ පිළිබඳව දකුණු පළාත් ප‍්‍රධාන ලේකම් ආර්.සී. සොයිසා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසූවේ එම ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිකිරීම්කරුවන්ට ගෙවීම සඳහා රජයෙන් මුදල් ඉල්ලා ඇති බවත් එම මුදල් ලද වහාම මිලියන 100 ක මුදලක් ගෙවීමට සූදානම් කර ඇති බවත්ය.