‘සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් අරමුණයි ‘


(යොහාන් භාසුර)

ආණ්ඩුවේ වගකීම හොඳ අධ්‍යාපනයක් හරහා මේ සමාජයට ගුණගරුක,  ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීම බවත් මෙරට සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

යාපන හින්දුු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගෙි වෙමින්  අග්‍රාමාත්‍යවරිය එසේ ප්‍රකාශ කළාය. ටියුෂන්  පන්ති වර්ධනය වී ඇතැයි විදුහල්පතිතුමා සදඟන් කළ බවත් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වීම නිසා ටියුෂන් කර්මාන්තය ප්‍රවර්ධනය වී ඇති බවත් ඇය කීවාය.

ටියුෂන් පන්ති  අඩුකරන්න නම් අපේ දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් පාසල තුළින් දිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය යාපනයේ හින්දු විද්‍යාලයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් දීම ආණ්ඩුව අරමුණ බව ද සඳහන් කළාය.

යාපනයේ හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ ගුරුවරු සමග සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යවරිය  පාසලේ හින්දු සංස්කෘතික අතීතය නිරූපණය වන කෞතුකාගාරය නිරීක්ෂණයට ද එක් වුවාය. මෙහිදී එම පාසලේ ජයග්‍රහණ හා පාසලේ කටයුතු පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළේය.

  මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම්, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරු, යාපනයේ හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, එම විදුහලේ සිසුහු සහභාගි වූහ.