‘වසර 30 කට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු පදවියට කෙනෙක් නම්කළා‘


(විනීතා එම් ගමගේ)


අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය  සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 


අගවිනිසුරු වශයෙන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවට නම් කර යැවුයේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින විනිසුරුවරයා බව ද හෙතෙම සඳහන් කළේය. 


තමන් නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අවුරුදු 38යි මාස 11 ක් සේවා කාලයක් හිමි, ප‍්‍රාථමික උසාවියක සිට පියවරෙන් පියවර ඉදිරියට ආ අයෙකු බව ද ජනාධිපතිවරයා පැවැසීය.


මේ කිසිවක් සැලකිල්ලට නොගෙන මීට පෙර පත්වීම් දී තිබු බව පැවසූ සිරිසේන මහතා  තමන්ටත් එසේ කරන්නට තිබු නමුත් පැහැදිලි ප‍්‍රතිපත්තියක් තුළ සිටි බවත් සේවාවට ගරු කිරීමක් ලෙසත් අභිමානයක් ඇති වන අයුරිනුත් මෙම පත්වීම කරන්නැයි විනිසුරුවන් තමන් හමුවී ඉල්ලලා සිටි බවත් ප‍්‍රකාශ කළේය.

   
ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූම විනිසුරුවන්ගේ පෞද්ගලික, අධ්‍යාපන, සේවා සුදුසුකම්, සියල්ල ගෙන්වා ගෙන සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම පත්වීම කළ බව ද ජනාධිපතිවරයා කීය.  


එහෙත් ලංකාවේ අගවිනිසුරු ධුරයට මීට පෙර ජනාධිපතිවරු පත්කර ඇත්තේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 


ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති වන නිලධාරින් 310 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.