‘වඳ සැත්කම් කරගන්න දිරි දීමනා ගෙවන්නේ ආණ්ඩුවමයි’


(විනීතා එම්. ගමගේ)

වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොව ආණ්ඩුව විසින්ම යැයි ද සෞඛ්‍ය  අමාත්‍යංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශය වඳ සැත්කම් කරගන්නා අය සඳහා පොළඹවන අයට දිරි දීමනා ලබා දෙන බව ද පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

බලහත්කාරයෙන් ජාතියක් වඳ කරන්නට උත්සාහ කරනවා යනු සමූල ඝාතනයක් ලෙස ගත හැකි බවත් සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛන අනුව තමන් පෙන්වා දුන් පසු වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනුව සොයා බලද්දී එය රජයෙන් කරවන බව පෙනී ගිය බවත් හෙතෙම කියා සිටියේය. 

උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල ශ‍්‍රවනාගාරයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.

‘‘බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්. ඒ සඳහා උපරිම දඬුවම වසර 7 ක් වෙනවා. බරපතල තුවාල සිදුකිරීම ඇප ලැබිය හැකි වරදක් බැවින් ෂාෆිට ඇප ගන්න පුළුවන් නේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් නමුත් මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයකුට ඇප ලබාදිය නොහැකි බව ඇප පනතේ ඉතාම පැහැදිලිව කියා තිබෙනවා. 

දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමුවෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා.  තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විදියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා.  ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා.

වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප‍්‍රශ්නයක් වුණා.  වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා.  මේ ගැන සොයා බලද්දී තමයි හොරේ හෙළි වුණේ. 

1980 දශකයේ දී ”පුංචි පවුල රත්තරන්” කියන සංකල්පය යටතේ ”අපි දෙන්නයි - දරු දෙන්නයි” කියන තේමාව ප‍්‍රචලිත කළේ ලංකාවේ 2% ආසන්න ජනගහන වර්ධන වේගයක් පැවැති නිසා.  දැන් ජනගහන වර්ධන වේගය සියයට දශම 8යි.  සිංහලයින්ගේ නම් සියයට දශම 5යි. ජර්මනිය වැනි ජනගහන වර්ධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ.  දරු ප‍්‍රසූතියටයි.

 ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යංශයට සිහිපත් කරනවා.  දැන් තේමාව විය යුත්තේ ”පුංචි පවුල රත්තරන්” නොවෙයි ”වැඩුණු පවුල ඉස්තරම්” කියන එකයි.  ඒ නිසා තවදුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදුකිරීම අවශ්‍ය නෑ.   ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කරගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නැහැ" යැයි හෙතෙම පැවසීය.