(විනීතා එම් ගමගේ)
රටේ කෘෂිකර්මය විනාශයට ඇද දමන මාෆියා 5ක් ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වී, සහල්, එළවළු, බීජ හා පොහොර එම මාෆියාවන් පහ යැයි පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම මාෆියාවන් මෙරට කෘෂිකර්මයේ අනාගතය විනාශ මුඛයට ඇද දමමින් සිටින බව ද පවසයි.
ආනයන ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණට මෙකී මාෆියාවන්ගෙන් විශාල බාධාවක් එල්ල වී ඇතැයි කී අමාත්‍යවරයා ඊට එරෙහිව උඩුගං බලා පිහිනීමට සිදුව ඇතැයි ද කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ පැවැති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවක දී අදහස් දක්වමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පර්යේෂණ හා තාක්ෂණය අතින් එංගලන්තයට වඩා දියුණු වුවත් ශ්‍රී ලාංකික ගොවීන් තවමත් සිටින්නේ වසර සියයක් පමණ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමයක යැයි ද කියා සිටියේය. මේ නිසාම වගා සහය ඉල්ලා එන ඉල්ලුම් පත්‍ර වලට වඩා දිනපතා ලැබෙන්නේ කුඹුරු පිරවීමට අවසර ඉල්ලා එවන ඉල්ලුම් පත්‍ර යැයි ද අවිධිමත් පොහොර භාවිතය බරපතල හානි රටට ගෙනැවිත් ඇතැයි ද ඔහු එහි දී පෙන්වා දුන්නේය.
අවිධිමත් පොහොර භාවිතයෙන් හා රසායනික පොහොර භාවිතයෙන් අන්ධ දරුවන් 30 දෙනෙක් පමණ මසකට උපත ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දිනපතා වකුගඩු රෝගීන් හා දියවැඩියා රෝගීන් ඇතුළු බෝ නොවන රෝග වැඩිවීමේ හේතුව ද මෙම අවිධිමත් පොහොර භාවිතය යැයි ද පෙන්වා දුන්නේය.
පොහොර ආනයනයට ව්‍යාපාරිකයන් උනන්දු වන්නේ එහි ඇති විශාල කොමිස් මුදල නිසා යැයි ද ආහාර ආනයනය ගැන කිවයුත්තේ ද එයම යැයි ද පෙන්වා දුන් අලුත්ගමගේ මහතා ඊට එරෙහිව යන ගමන අරඹන්නට කෘෂිකර්ම උපදේශකවරුන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ද කියා සිටියේය.
බතලේගොඩ, අඟුණකොල පැලැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම හා බිඳුණු වැව යන කෘෂි පුහුණු පාසල්වල දී කෘෂි උපදේශකවරුන් දහසක් පුහුණු කරන බවත් ගොවිජන සේවා නිලධාරින් ද, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ද අනතුරුව පුහුණු කරන බව ද පැවැසීය.

