(නිමල කොඩිතුවක්කු)
මැතිවරණයකට වඩා රටේ ආරක්ෂාව වැදගත් බැවින් මැතිවරණයක් පැවැත්වීමට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසීය.
විශාල රැලි පැවැත්වීම, ගෙයින් ගෙට යාම මේ අවස්ථාවේදි සුදුසු නොවන බවත් දේශපාලනයට වඩා රටේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම සෑම දේශපාලඥයකුගේම වගකීම විය යුතු බවද ඔහු සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මෙසේද කීය.
“මේ වෙලාවේ මැතිවරණය නෙමෙයි වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. ඡන්දය අපිට ඕනෑම අවස්ථාවක පැවැත්විය හැකියි. මේ රෝගය වළක්වා ගන්න මුදල් යෙදෙව්වාට අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. විපක්ෂය විදියට අපිත් ඒ සඳහා උදව් කරන්න ඕන.
මැතිවරණයේදී විශාල රැලි පැවැත්විම මේ වෙලාවේ සුදුසු නැහැ. ගෙයින් ගෙට යනවාට මිනිස්සු කැමති නැහැ. අපිට දේශපාලනයට වඩා අවශ්‍ය මේ රටේ ආරක්ෂාවයි. අපි හරියට මේ ප්‍රශ්නය දිහා බැලුවේ නැත්නම් මේක යුද්ධයටත් වඩා භයානක තත්වයක් ඇතිවිය හැකියි.
සමහර එක්කෙනෙක් දෙන්නෙක් විපක්ෂය ගැන, ආණ්ඩුව ගැන, එයාලගේ බලය ගැන කියනවා. ඒක නෙමෙයි වැදගත් රටේ ජනතාවට ආදරේ අය විදියට අපි රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි” යැයිද ඔහු එහිදී පැවැසීය.

