(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ප්‍රධානීන් විසිදෙනකු සිය පෞද්ගලික වාහන සඳහා ආයතනයේ රියැදුරන් යොදවා ඔවුනට අතිකාල දීමනා ලෙස පමණක් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක දැක්වේ.
එම අධිකාරියේ සේවක සටහනේ නොමැති අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දෙකක් සහ ඒකක ප්‍රධානී තනතුරක් ඇතිකර ඔවුනට වැටුප් වර්ධක දෙකක් වැඩි කර ඇති බවටත් ඔවුන්ට තම පෞද්ගලික වාහනය නිල වාහනය ලෙස භාවිතා කිරීමට අවසරදී ඒ සඳහා ඉන්ධන දීමනාවක්ද 2018 වර්ෂයේදී නොකඩවා ගෙවීම් කර තිබූ බවත් විගණන අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ අතර වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශයට පටහැනිව නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් වාස්තු විද්‍යාඥයන් නීතිඥයන් ගණකාධිකාරිවරුන් නගර නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකයන් සඳහා රුපියල් 15,000 බැගින් මාසික වෘත්තිය දීමනාවක් 2014 වර්ෂයේ සිට ලබාදී ඇතැයි විගණන අංශ පවසයි.
එම වෘත්තිය දීමනා ගෙවීම් පිළිබඳ විස්තර විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබූ බවද ඒ කාර්යාලය සඳහන් කරයි.
මේ අතර රාජ්‍ය ව්‍යාපාරවල නිලධාරීන් අමාත්‍යංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනවල සේවය සඳහා මුදා නොහැරිය යුතු බවට නියම කර තිබියදී අධිකාරියේ සේවකයන් 19 දෙනෙකු වැටුප් ප්‍රතිපූර්ණය කිරීම කිරීමේ පදනම මත වෙනත් රාජ්‍ය ආයතනවලට 2018 වර්ෂයේදී නිදහස් කර තිබූ බව විගණන විමර්ශනවලදී හෙළිවී ඇත.

