‘තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණයට සිතිවිල්ලක්වත් රජයට නැහැ’


(නාලක සංජීව දහනායක)
 
තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ සිතුවිල්ලක්වත් වත්මන් රජයට නැතැයි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවැසීය.
 

තැපෑල පෞද්ගලීකරණය නොකර ආදායම් ලැබිය හැකි සැලසුම් දැනටමත් සකස් කර අවසන් යැයි ද ඔහු කීය.
 
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
 
“තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සදහා උසස්වීම් ලබාදෙන්න රජයන් කැපවී කටයුතු කළේ නැහැ. රටක් සංවර්ධනය කළ හැක්කේ වැඩකරන ජනතාව තෘප්තිමත් වුවහොත් පමණයි. නියමිත උසස්වීම් නොලැබීම නිසා ඇතිවූ වෘත්තීය අසහනය නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ඔබ පසුගිය ආණ්ඩුව සමයේදී වෘත්තීය අරගලවල නිරතවූ ආකාරය අපි දැක්කා. ඒ තත්ත්වය තුළ ඔබගේ නොවිසදුණු ගැටලූ විවිසඳන්න වත්මන් රජය කැපවී ක‍්‍රියාකරනවා.
 
අලුත් ජනාධිපතිවරයකු යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වත් අපිට පාර්ලිමේන්තු බලයක් නැහැ. ඒ නිසා අණපනත් සම්මත කරගෙන පාර්ලිමේන්තුව හරහා අවශ්‍ය පරිදි මුදල් වෙන්කරගන්න අපිට බැහැ. මේ දිනවල රජයේ කටයුතු සදහා මුදල් වෙන්කර ගන්නේ අතුරුසම්මත ගිණුමක් මගිනුයි. මේ නිසා පසුගිය රජය ලබාගත් සේවාවන් වෙනුවෙන් හා ඉදිකිරීම් කටයුතු කළ කොන්ත‍්‍රාත් කරුවන්ටවත් අවශ්‍ය මුදල් ගෙවාගන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තිබෙනවා. ඒ සදහා අවශ්‍ය මුදල් ලබාගැනීම සදහා අතිරේක පරිපූරක ඇස්තමේන්තුවක් මගින්  මුදල් වෙන්කරගෙන තිබෙනවා. ඒ නිසා සිංහල හා හින්දු අලූත් අවුරුද්දට පෙර හිඟව තිබූ සියලූම බිල්පත් නිරාකරණය කරගන්න අපිට හැකිවේවි” යැයිද කීය.
 
වැඩබැලූ උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට ස්ථීර පත්වීම් ලබාදීම හා දෙවැනි ශ්‍රේණියේ සිටි තැපැල් ස්ථානාධිපතිවරුන්ට පළවැනි ශ්‍රේණියේ උසස්වීම් ලබාදීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී අද (19) පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.