‘ත්‍රිපිටකාභිවන්දන’ ලෙස සතියක් නම් කෙරේ


හර්ෂණ තුෂාර සිල්වා

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් මාර්තු මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ‘ත්‍රිපිටකාභිවන්දන’ යනුවෙන් සතියක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අද (12) පස්වරුවේ කොළඹදී පැවැසීය.

‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය මාර්තු 16 වැනිදා ආරම්භ වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේදී පැවැත්වෙන ජාතික උත්සවයෙන් එම සතිය අවසන් බවත් හෙතෙම කීය.

කොළඹ, නාරහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් අදාළ ලියකියවිල යුනෙස්කෝ සංවිධානයට බාර දීම ද මහනුවර පැවැත්වෙන ජාතික උත්සවයට සමගාමීව සිදු කෙරෙන බව ද සෙනෙවිරත්න මහතා කීවේය.

 ‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය වෙනුවෙන් මාර්තු 14 සහ 15 යන දෙදින දිවයිනේ සියලු නගර ධජ පතාකවලින් සරසන බවත් එම සතිය තුළදී සෑම නිවසකම, සෑම ආයතනයකම බෞද්ධ ධජයක් ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලා සිටින බවත් සෙනෙවිරත්න මහතා කීය.

ඊට අමතරව මෙම සතියේදී ත්‍රිපිටකය පිළිබඳව ජනතාව සතු අවබෝධය වැඩි කිරීම, පිණ්ඩපාත දානමය පිංකම්, ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන ආදී ආගමික සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් පැවැත්වෙන බව ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීවේය.