(අංජුල මහික වීරරත්න යාපනයේ සිට)
තමන්ට විරුද්ධ අය මැරෙන්නත් පක්ෂ අය ජීවත්වන්නත් සිදුවන යුගයක් නැවත නිර්මාණය කළ යුතුදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) යාපනයේදී පැවසීය.
නීතිය හා සාමය යනු හැකි අයුරින් ඝාතන වැළැක්වීම බව කී අග්‍රාමාත්‍යවරයා නැවත සාක්ෂි නොමැති මරණ සිදුවන යුගයක් නිර්මාණය කරගත යුතුදැයි ප්‍රශ්න කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ යාපනය තිරු තෙල්ලිවේලිහි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයෙහි නව දමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එහිදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ කීය.
“දැන් බෝම්බකාරයො එනවා. මිනිස්සු ජීවත්වෙන්න බයයි. එදා එවැනි තත්ත්වයක් තිබුණේ නැතැයි පොහොට්ටු සම්මලේනයේදී එහි මන්ත්‍රීවරුන් පැවැසුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ආරක්ෂාව තිබූ බවත්, අනාගතයේත් එලෙස කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පවසා තිබුණා.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරුණේ අපේ යුගය් බව මා පිළිගන්නවා. ඒ ගැන සොයාබලන්නට වෙනම කමිටුවක්ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද තිබෙනවා. අපට අවශ්‍ය සිදු වූ දේ සොයාබලන්නයි. සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා එදා සවස වනවිට අල්ලා ගන්නට හැකිවුණා. මේවනවිට සැකකරුවන් 200ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කාලේ වුණේ කුමක්ද? රවිරාජ් මන්ත්‍රීතුමා පාරේ යනවිට මරාදැමුවා. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් අල්ලාගන්න බැරිවුණා. මහේෂ්වරන් මන්ත්‍රීතුමා ශිවම් කෝවිලේ වන්දනා කරනවිට ඝාතනය කළා. ඊට සැකකරුවන් කිසිවෙකුත් අල්ලන්නට නොහැකි වුණා. ශිවම් කෝවිල තිබෙන්නේ වරාය අසළයි. වරායට දැඩි ආරක්ෂාවක් තිබෙනවා. එසේ නම් ඒ අය කියන හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පැමිණ මහේෂ්වරන් මන්ත්‍රීතුමාට වෙඩිතැබුවේ කෙසේද? කොළම සිටි සියලුම අය ආණ්ඩුවට විරුද්ධය ඡන්දය දුන්නා. එවිට ආරක්ෂාව ඉවත් කළා. ඝාතනයට ලක්වුණා.
රවිරාජ් මන්ත්‍රීතුමා සිංහලෙන් කතාකිරීම අපට හොඳ නැහැ. අපිට අවාසියි කිව්වා. එතුමා ඝාතනය වුණා.
අප බලයට පැමිණ විභාගකිරීම් ඇරඹුවත් තවමත් සාක්කි සොයාගන්නට බැහැ. එය හරි පුදුමයක්. සියලු දේවල සාක්කි තිබුණත්.
නැවත එවැනි තත්ත්වයක් නිර්මාණය කළ යුතුද? තමන්ට විරුද්ධ අය මැරෙන්නත්, පක්ෂ අය ජීවත්වන්නත් සිදුවන යුගයක් නැවත නිර්මාණය කළ යුතුද? ”යැයි ඒ මහතා කීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)




