‘ජිනීවා යෝජනාව පරාජයවීම ආණ්ඩුවේ අපේක්ෂාවයි’


 

(ලක්ෂ්මී ජයකොඩි)

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පරාජයට පත් වුවහොත් මෙරට සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තර අධික්ෂණයක් නොමැතිව යනු ඇති බවත් එය මෙරට ආණ්ඩුවේ අපෙක්ෂාව වන බැවින් එයට  ඉඩ ලබා නොදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.

එබැවින් කෙසේ හෝ එම යෝජනාව සම්මතවිය යුතුය යන්න තම පක්ෂයේ අපෙක්ෂාව බවද ඔහු කීවේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ජාත්‍යන්තර අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නම් කරුණු තුනක් ඉටු විය යුතුය. පළමු කරුණු නම් අදාළ රට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා තිබිය යුතුයි. නැත්නම් ලංකාව මෙම කරුණු සම්බන්ධයෙන් එකඟ විය යුතුයි. එය කෙදිනකවත් සිදු නොවන දෙයක් අනෙක් කාරණය නම් අරක්ෂක මණ්ඩලය මගින් යෝජනාවක් සම්මත කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමයි. මේවනවිට නොයෙකුත් ක්‍රියාමාර්ග  ගනු ලැබිය හැකියි. නමුත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත නොවී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ඉදිරිපත් කර ඇති වර්තමාන යෝජනාව වෙනස්කම් වෙමින් ඉදිරිපත් කර තිබෙනවා. එය කවරක් වුවත් එම යෝජනාව සම්මත කර ගැනීමට සහාය ලබාදෙන්නැයි එම කවුන්සලයේ සාමාජික රටවල් වලින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමානයේ ඉතා අහංකාර අන්දමින් ආණ්ඩු කරමින් සිටිනවා. ජාත්‍යන්තර රටවල් අප රටේ ගැටලු සම්බන්ධයෙන් ඇඟිලි ගැසිය යුතු නැහැ. එය අපි බලා ගන්නම් යැයි ප්‍රකාශ කරනවා.අපට එයට ඉඩ ලබාදිය නොහැකියි. ජාත්‍යන්තර මැදිහත්වීම ජාත්‍යන්තර අධික්ෂණයක් ලංකාව සම්බන්ධයෙන් තිබිය යුතුමයි යන්න අපගේ ස්ථාවරයයි. ඉදිරි වසර දෙකක කාලයකදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධික්ෂණය යටතේ පවතිනු ඇත්තේ මෙම යෝජනාව සම්මත වුවහොත් පමණයි.

මෙම යෝජනාව පාරජායට පත්වුවහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිඳු ජාත්‍යන්තර අධික්ෂණයක් සිදු වන්නේ හෝ පවතින්නේ නැහැ.ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැමැත්ත එයයි. ශ්‍රී ලංකාව කියා සිටින්නේ අප කරන්නේ අපට අවශ්‍ය දේවල්. වගවීම පිළිබඳ අප බලා ගන්නම්. ජාත්‍යන්තරය එයට ඇඟිලි ගැසිය යුතු නැති බවයි. ශ්‍රී ලංකාව කියා සිටින්නේ යුද්ධයක් ජය ගත හමුදාවකට එරෙහිව කිසිඳු රටක විමර්ශනයක් පැවැත්වෙන්නේ නැති බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුව අපට මෙන්ම ජාත්‍යන්තරයටත් ඉතා අහංකාරකමෙන් අභියෝග කරමින් සිටිනවා. එයට අප ඉඩ ලබා නොදිය යුතුයි.

ජීනිවා මානව හිමිකම් කවුන්සලයේදි අප රැවටීමට ලක්වෙනවා යැයි ඇතැමුන් ප්‍රකාශ කරනවා. එහි යම් ඇත්තක් තිබෙනවා. නමුත් අපි තවත් අගාධයකට වැටෙන ආකාරයට මේ අවස්ථාවේදි කටයුතු නොකළ යුතුයි.  එබැවින්  මෙම යෝජනාවේ කවරක් තිබුණත් මේ අවස්ථාවේදී එයට අපි විරුද්ධ නොවිය යුතුයි.

යෝජනාවේ සඳහන් කරුණු වලට අප විරුද්ධ වුණාම රාජතාන්ත්‍රිකයින් පවා දෙගිඩියාවට පත් වෙනවා. එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානය වන අප පක්ෂය ශ්‍රී ලංකා රජයට සහන කාලයක් ලබාදීමට යන්නේ යැයි චෝදනා කිරීම වැරදියි. ඉදිරි වසර දෙකක කාලයේදි ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාව අධික්ෂණයට ලක් කිරීමක් පමණක් එයින් සිදුවනු ඇති. මෙවැනි අධික්ෂණයක් මේවනවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොතිබුණා නම් අද මේ රටේ මෙවැනි මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා නොවීමට ඉඩ තිබුණා. මෙම යෝජනාව පරාජයට පත්වුවහොත් අපගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර වේදිකාවක් නැති වනු ඇති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වර්තමාන යෝජනාව දෙස අවධානයෙන් බැලීමේදි එය සම්මතවේද යන්න සැක සහිතයි. එයට හේතුව රටවල් රැසක් ශ්‍රී ලංකාවට පක්ෂපාතීව කටයුතු කිරීමයි. මුස්ලීම් ජනතාවගේ ජනසා ආදාහනය පිළිබඳ ගැටලුවත් මෙම ජීනීවා යෝජනාවට ඇතුළත් කළ යුතු යැයි අප ඉල්ලා සිටියේ ඒ නිසයි. එම නිසා අපගේ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ නහය තමන්ම කපා ගන්නා ආකාරයේ  කටයුතු වල නිරත නොවන ලෙසයි.