(බිඟුන් මේනක ගමගේ)
දේශපාලනයේදී මතවාදීව එක්විය හැකි ක්‍ෂේත්‍ර හඳුනාගෙන එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පොදු එකඟතාවයක් අද(11) ඇතිකරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට කීය.
මෙම එකඟතාවයට පැමිණියේ 20 වැනි සංශෝධනයට දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පවත්වන සාකච්ඡා මාලාව යටතේ දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී යැයි ද දිසානායක මහතා කීය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සියලු දෙනා සාධාරණ ලෙස බලයට හවුල් කරගැනීම යන කාරණා ගැන මෙහිදී සාකච්ඡා වී යැයි කී හෙතෙම ප්‍රධාන යැයි කියන දේශපාලන ව්‍යාපාර දෙකම පිරිහී ගොස් ඇති පසුබිමක නව දේශපාලන ප්‍රවණතාවයක අවශ්‍යතාව ගැන දෙපක්ෂයේම නායකයන්ගේ අවධානය යොමු වී යැයි ද අවධාරණය කළේය.
ජනතා විමුක්ති පෙරමුණටත් දෙමළ ජාතික සන්ධානයටත් දේශපාලන පක්ෂ හැටියට ඇතැම් කරුණු ගැන මතභේද පැවැතිය ද මතවාදීව එක්විය හැකි තැන් ද ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මතවාදීව සහාය දැක්වීම යහපත් තත්ත්වයක් යැයි ද ඒ මහතා පැවසීය.
ඒ අනුව රටේ දේශපාලනයේ නව දිශානතියකට ගෙනයන වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට පක්ෂ දෙකටම හැකි වී යැයි ද දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා දිසානායක මහතාගේ අදහස් අනුමත කළ අතර මීට පෙර බලය බෙදීම ගැන ජනපතිවරයා හා අගමැතිවරයා සමග පැවැත් වූ සාකච්ඡා ගැන ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කළේ යැයි කීය.
රටේ දේශපාලනය නිවැරැදි මාවතට ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය එක්ව වැඩ කළ යුතු යැයි කී හෙතෙම එය ඉදිරි කාලයේදී නිසැකයෙන්ම සිදුවන්නේ යැයි ද සම්බන්ධන් මහතා අවධාරණය කළේය.
පැයක පමණ කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්.සම්බන්ධන්, එම්.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෛකලනාදන්, ටී.සිද්ධාර්ථන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරු ද සහභාගී වූහ.

