‘ජනාධිපති අපේක්ෂකයා නම්කරන්න එජාපයට කිසි කලබලයක් නැහැ’


(කාංචන කුමාර ආරියදාස)
 
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට කිසිදු කලබලයක් නොමැති බව කෘෂිකර්ම  අමාත්‍ය පී. හැරිසන් මහතා අද(24)  සීගිරියේ පැවති මාධ්‍ය හමුවකදී  පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් අපේක්ෂකත්වය නම් කළ පසු සහ ජනාධිපතිවරයා එය ගැසට් කිරීමෙන් පසු සිය පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව දැනුවත් කරන බවද, අපේක්ෂකයන් සඟවා තබා ගැනීමෙන් එහි වටිනාකම වැඩිවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.  
 
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගෙන නොමැතිව තිබියදී විවිධ පුද්ගලයන් අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ නම් ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක  අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තවමත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර නැති බවත් ඔහුගේ අනුගාමිකයන් එම නම  කියවන බවත් හැරිසන් මහතා සඳහන් කළේය.
 
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු අභියෝගයක් නොමැති බවත් මීට වඩා අභියෝග ඇති අවස්ථාවන්හිදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබෙන බත්ව හෙතෙම අවධාරණය කළේය.

19 වන සංශෝධනය වැඩි වශයෙන් උනන්දු වී  අනුමත කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එහි අඩුපාඩුකම් තියෙන බවත් සඳහන් කරන්නේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් තුළ  සලකා බැලිය යුතු බවත් ඕනෑමදෙයක අඩුපාඩුකම් පවතින බවත්,  18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති තත්වයකට විශාල වශයෙන් ගිය බවත් දහනවවැනි සංශෝධනයෙන් එය වඩා සරළව ගෙන ආ නිසා ඇතැම් අයට මෙහි අඩුපාඩුකම් පෙනෙන්නට ඇති බවත් ඒ සඳහා සංශෝධනයක් අවශ්‍ය නම්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එකිනෙකා බලන කෝණය අනුව එහි අඩුපාඩු දර්ශනය වන බවත් ජනාධිපතිතුමා වෙනත් කෝණයකින් බලන්නට ඇති බවත් එනිසා ඒ පිළිබඳව රටේ කතිකාවතක් ඇතිවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.