(සුජිත් හේවාජුලිගේ )
ජනපතිට ඔරවලා රවලා ගෝල්ෆේස් පිටියට හිස නමලා ඇමැතිකම් අරගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටක් රාජ්‍යයක් හදන්නේ කොහොමදැයි තමාට ප්‍රහේලිකාවක් බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
"ගෝටා ගෝ හෝම්" කියන ගමන්කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා සමඟ ඉන්න හිටින්න හදන අයගේ මානසිකත්වය තේරුම්ගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනතාවගේ බඩගින්දර ගැන සිතා ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන බව පැවසූ දිසානායක මහතා මේ අවස්ථාවේදී තම කණ්ඩායම කරන කැපවීමට ප්‍රතිඵල තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.
එක මන්ත්‍රීවරයකු පැවසූ අන්දමට ඔහු ජනපතිගෙන් පත්වීම ගත්තේ අප්‍රසන්නතාවයෙන් අහක බලාගෙන බවත් ඇමැතිකමක් ගත්තත් තමා තවමත් ඉන්නේ ගාලු මුවදොර පිටියේ යැයි තවත් ඇමැතිවරයකු ප්‍රකාශ කළ බවත් විමලවීර දිසානායක මහතා පැවසුවේය.
මෙවැනි සිතුවිලි තබාගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු කීවේය. අසූ අට අසූ නවය කාලයේ බිහිවූ ම්ලේච්ඡත්වයේ දේශය දැන් යළි අවදිවී ඇති බවත් එක්තරා කණ්ඩායමක් ගෙන යන මෙම මිලේච්ඡත්වය පාලනය කළ හැක්කේ එයට ගරු කිරීමෙන් හෝ හිස නැමීමෙන් නොවන බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.