(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
විජය රජදහන ප්‍රදේශයේ නිවසක ගබඩා කාමරයක සිහිසුන්ව වැටී සිටි අසූ හැවිරිදි වියේ පමණ වන වයෝවෘද්ධ කාන්තාවක දොරගුළු කඩා මුදා ගෙන අද ( 5) අලුයම රෝහල් ගත කළ බව මීරිගම පොලිසිය කියයි .
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවිඩයක් මත සිදු කෙරුණු පරීක්ෂාවකදී පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙම කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.
මෙම කාන්තාව පුතකු හා ඔහුගේ පවුලේ පිරිස සමඟ මෙම නිවසේ කාලය ගත කර ඇතැයි ද දින පහක පමණ සිට පුතා ඇතුළු පවුලේ පිරිස අතුරුදන්ව ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවල දි හෙළි වී ඇත.
නිවසේ පදිංචිව සිටි පුතා දෙදරු පියකු බවත් විදුලි කාර්මිකයකු බවටත් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි .
නිවස වසා තිබී ඇති අතර ගබඩා කාමරයේ දොර වසා පිටතින් බැඳ දමා තිබූ බව පොලිසිය කියයි . ගබඩා කාමරයේ දොර විවෘත කර පරීක්ෂා කරද්දී මෙම වයෝවෘද්ධ කාන්තාව ඇඳක් යට වැටී සිහිසුන්ව සිටින දැක රෝහල්ගතකර තිබේ. අනතුරුව සුව සැරිය ගිලන් රථය ගෙන්වා කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබ ඇත .

