‘අස්ට්‍රාසෙනිකා ගැටලුව විසඳන්න විද්වත් කමිටුව ලබන සතියේ රැස්වෙයි‘


(සුජිත් හේවාජුලිගේ)

අස්ට්‍රාසෙනිකා එන්නතේ  පළමු මාත්‍රාව ගත් අයට  දෙවෙනි  මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත  ලබා දිය හැකි දැයි නිර්දේශ කිරීම සඳහා  එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේදී රැස්වීමට නියමිතය .

අස්ට්‍රාසෙනිකා එන්නතේ  පළමු මාත්‍රාව ගත්  හය ලක්ෂයකට ආසන්න පිරිසකට  දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එම වර්ගයේ  එන්නත සොයාගැනීම ඒවායේ නිෂ්පාදනය පිළිබඳ  ගැටළුවක් නිසා දුෂ්කර වී ඇති අතර එම පිරිසට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත  ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත්තේ මේ පසුබිම යටතේය .

අස්ට්‍රාසෙනිකා එන්නතේ  පළමු මාත්‍රාව ගත්  බොහෝ පිරිසකගේ දෙවෙනි  එන්නත්  මාත්‍රාව  ලබා ගත යුතු කාල සීමාවද දැනට  ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගුණවර්ධන මහතා පවසන්නේ එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේ දිනකදී රැස්වී  ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි .

එම නිර්දේශ සැලකිල්ලට ගෙන   තීරණයකට එන බවද ඔහු ප්‍රකාශ කළේය .

අස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට දෙවැනි  මාත්‍රාව ලෙස  ෆයිසර් එන්නත  ලබා දිය හැකි දැයි යන්න ගැන  පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය .

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත්  අයට  දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත  ලබා දිය හැකි දැයි යන්න සම්බන්ධයෙන්  විද්වත් කමිටුවේ නිර්දේශ  ඉදිරි දෙසතියේ දී බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා  පැවසුවාය .

පළමු මාත්‍රාව ලෙස  වෙනත් එන්නත් ලබා ගත්  අයට දෙවනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම ලෝකයේ සමහර රටවල් දැනටමත් අරඹා  ප්‍රතිඵල ලබා ගෙන තිබෙන බවද  ඇය එහිදී සඳහන් කළාය .

මේ අතර රටපුරා විසිපන් ලක්ෂයකට වැඩි පිරිසක්  කොරෝනා මර්දන  එන්නතේ   පළමු මාත්‍රාව ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි


කොරෝනා මර්දන එන්නත් මාත්‍රා   දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව  අට ලක්ෂ හැට හය දහස් හත් සිය  අනූ දෙකකි.