
(නිමල කොඩිතුවක්කු)
අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට මාස 6 ක් ඇතුලත අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසියට උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමණාකරණ අංශයේ සහ අධිවේගී මාර්ග වල ස්ථාපිත කර ඇති පොලිස් ඒකක වල නිළධාරින් සමඟ මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
2021 වසර තුලදී ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන් වල පින්නදූව, අපරැක්ක, කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස, අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07 සිදු වී 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.
2021 වර්ෂයේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461 වේ.
2020 වර්ෂය තුල අධිවේගී මාර්ග වල රිය අනතුරු 308 ක් සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් විය.
අධිවේගී මාර්ග වල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ග වල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු විය.
අදිවේගී මාර්ගවල ගමන් කිරීමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බවත් 2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බවත් මෙහිදී අණාවරනය විය.
බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැලඳ ධාවන කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව අධිවේගී මාර්ගයේ ස්ථාපිත පොලිස් ඒකක වල නිළධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට එහිදී උපදෙස් දෙනු ලැබීය.

