‘අධිකරණ තීන්දුව ජනතා ජයක්‘


(මුදිතා දයානන්ද)


විධායක ජනාධිපතිවරයෙක් විසින් නිකුත් කළ ගැසට් පත‍්‍රයක් තාවකාලිකව හෝ අත්හිටුවා අධිකරණ නියෝගයක් ලැබී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාව ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවද ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (14) පැවසීය.


ඒ මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.  

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ගත් ක‍්‍රියාමාර්ගය ව්‍යවස්ථා විරෝධී බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ බවද ඒවා සැලකිල්ලට ගෙන අධිකරණය අදාළ ගැසට් පත‍්‍රය තාවකාලිකව අත්හිටුවා නඩුව විභාගයයට ගැනීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය. 


බැලූ බැල්මට ජනාධිපතිවරයා කළ කටයුත්ත නීත්‍යානුකූල යැයි හැගුණේ නම් හෝ ඉදිරිපත් කළ පෙත්සම්වල නඩු නිමිත්තක් ඇතැයි විනිසුරු මඩුල්ලට හැගී නොගියේ නම් හෝ එලෙස ගැසට් පත‍්‍රය අත්හිටුවීමට තීරණයක් නොගන්නා බවද සිල්වා මහතා පැවසීය. 


 මේ ගැසට් පත‍්‍රය නිකුත් කරන්නේ විධායක ජනාධිපති වන අතර ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව බවද එවැනි ගැසට් පත‍්‍රයක් තාවකාලිකව හෝ අත්හිටුවීමට අධිකරණය තීරණය කිරිමෙන් ජනාධීපති සිදුකළ ක‍්‍රියාව සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අභියෝගයට ලක්කළ හැකි කරුණක් තිබෙන බව පැහැදිලි වන බවද මේ තීන්දුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබාගැනීමට ජනතාවට දෙන ඉඟියක් බවද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.