‘19වැනි සංශෝධනයට අත් එසැවූ සියල්ලන් වැරදිකාරයෝ’


(බිඟුන් මේනක ගමගේ) 

විධායක ජනාධිපති ධුරය නිසියාකාරව පවත්වාගෙන යෑම හෝ එය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑම ගැන මීළඟ මැතිවරණවලදී දේශපාලන පක්ෂ නිශ්චිත තීන්දුවක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 

එසේ නොකර තර්ක කරමින් විවාද කිරීමෙන් රටේ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වයට විසඳුමක් දිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වයට 19 වැනි සංශෝධනයට අත් එස වූ සියලු දෙනාම වගකිව යුතු යැයි කී හෙතෙම එදා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ඊට සහාය දැක්වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමේ අරමුණෙන් යැයි ද පැවසීය.

මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අභියෝග කර ඇති නමුත් රටෙහි ඇත්තේ විවාද කරගෙන බේරාගැනීමට හැකි ප්‍රශ්නයක් නොවන බව මන්ත්‍රීවරයා කීය.

එනිසා අර්ථවිරහිත වාද ප්‍රතික්ෂේප කරන බව කී හෙතෙම ඇතැම්විට පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින් ද්විමණ්ඩලික ව්‍යස්ථාදායක ක්‍රමයකට හෙවත් සෙනෙට් ක්‍රමයකට පරිවර්තනය වීම ද හොඳ විසඳුමක් වීමට ඉඩ ඇතැයි ද කීවේය.

එකී සෙනෙට් සභාව බලයක් සහිත ආයතනයක් වුවහොත් ජනවාර්ගික ප්‍රශ්න විසඳීමට හොඳ වේදිකාවක් වනු ඇතැයි ද නැතහොත හුදු කතා සාප්පුවක් පමණක් වුවහොත් පලක් නොවනු ඇතැයි ද ජයසේකර මහතා සඳහන් කළේය.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පාක්ෂිකයාගේත් අනන්‍යතාව සුරැකීමට කටයුතු කිරීම ඇතැමුන් දැඩි මතධාරිත්වයක් හැටියට විවේචනය කරන්නේ යැයි කී හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු හුදෙක් හූ මිටි තබන්නෙකු නොවිය යුතු බව තමා විශ්වාස කරන්නේ යැයි ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයේ ප්‍රමාණාත්මක හැකිලීමක් පෙන්නුම් කළත් ඊට හිමි වටිනාකම විනාශ වී නැතැයි ද පක්ෂය වැළලීමට කිසිවකුඩ ඉඩ නොතබන්නේ යැයි ද මහලේකම් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.