හොරෙන් රට යන්න ගිය 30 දෙනා අතර ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුත්


(සුමතිපාල දීයගහගේ) 
 
නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් මීගමුවේ සිට නවසීලන්තය බලා යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් 30 දෙනා අතර ආනමඩුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සහ නීත්‍ය‍නුකූල ලෙස ගුවන් හමුදාවෙන් ඉවත්වූ සෙබළුන් දෙදෙනෙකු ද සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පසුගිය 2 වැනි දා මීගමුව ධීවර වරායේ සිට 'සිතිවිල්ල 2' නැමැති බහුදින යාත්‍රාවෙන් නීති විරෝධී ලෙස නවසීලන්තය බලා යමින් සිටින විට ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 80 ක් දුරදී මෙම පිරිස සමග බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන ඒමෙන් පසු මේවන විට ගාල්ල වරාය මෙම පිරිසගෙන් ප්‍රශ්න කරමින් සිටියි.

අත්අඩංගුවට ගත් 30 දෙනා අතර සිංහල ජාතිකයින් 28 දෙනෙක් ද දමිළ ජාතිකයින් දෙදෙනෙකු ද සිටින බවත් මොවුහු ගාල්ල, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, මහනුවර, රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ගාල්ලෙන් මෙම නීතිවිරෝධී ගමනට එක්වූ පිරිස දොඩන්දුවේ සිට වල්ලමකින් ගොස් බහුදින යාත්‍රාවට ගොඩ වී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරුවන් අද (8) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.