හොරට පාස්පොට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩතහනම්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ   පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත  සුහුරුපාය පොලිස් මුරපොළේ රාජකාරී යොදවා සිටි කොස්තාපල්වරයෙකි.

කොස්තාපල්වරයා සුහුරෑ පාය පොලිස් මුර පොලේ රාජකාරිය යොඳවා සිටිය දී ඉකුත් 19 වන දින  එම ස්ථානයෙන් බැහැරව  විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙකු සමඟ  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් තහනමට ලක් කර
ඇත.