හොර කච්චෙිරියක් වටලා යුවළක් අත්අඩංගුවට


(ප්‍රදීප් කුමාර කුලරත්න)


හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ කච්චේරික් වටලා එහි තිබී ජාතික හැඳුනුම්පත් , ආදායම් බලපත්‍ර , ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් හා ඒවා සැකසීමට භාවිතා කරන උපකරණ සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

ඒ අනුව සැකකාර යුවළ පදිංචි හොරණ පෝරුවදන්ඩ ප්‍රදේශයේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී ව්‍යාජව සකසන ලද ජාතික හැඳුනුම්පත් අටක්,රක්ෂණ සහතික තුනක්,  රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන කාඩ්පත් 12, ආදායම් බලපත්‍ර 03 , දුන් සහතික 03,නැවත පවරා නොගැනීමේ සහතිකයක්, ඩී.වී.ඩී හා සී.සී පට  48 , ලැප්ටොප් යන්ත්‍රයක්, ජංගම දුරකථන 03  පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව සැකකාර යුවළ පදිංචි  නිවස පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ සහතික මුද්‍රණය කිරීම සදහා භාවිතා කරන වර්ණ ප්‍රින්ටරයක්, ලැමිනේටින් යන්ත්‍රයක් ,ස්කෑනර් යන්ත්‍රයක්, පොලිමර් සීල් හදන යන්ත්‍රයක්, ඒ සදහා භාවිතා කරන වර්ණ තීන්ත තොගයක්, තිබී හමුවූ බවත් ඒ අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , ෆිනෑන්ස් ආයතන  ප්‍රධානීන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිල මුද්‍රා 28 තිබී හමුවූ බවත් පැවසේ.

පොලිස් භාරයට ගත් නිල මුද්‍රා අතර මිනුවන්ගොඩ , මින්නේරිය , පුත්තලම, හිඟුරක්ගොඩ හා බටපොල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා රක්ෂණ නියෝජිතයින්ගේ මුද්‍රා තිබී හමුවූ බව ද  කියයි.