හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(නිමාලි කහවල)

වාහන නඩත්තු කටයුතු සිදුකිරීමේදී පළඳින ‘ගරාජ් කිට්’ ඇඳුමක් හැඳ පොලිස් මාර්ග බාධක වල නිලධාරීන්ගෙන් සූක්ෂමව ගැළවී, මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරමක නිරතවූ ගරාජ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දොඩංගොඩ, බොරළුකැටිය පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.

පයාගල, පොතුවිල ප්‍රදේශයේ යතුරුපැදියෙන් මත්කුඩු විකුණමින් සිටියදී අත්අඩංගුවට පත්වූ සැකකරු සමඟ හෙ‍රොයින් මත්කුඩු පැකට් 450ක්ද, ජංගම දුරකතන දෙකක්ද, මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

        මොහු ‍බොරළුකැටිය ප්‍රදේශයේ සිට දෙහිවල දක්වා යතුරුපැදියෙන් ගොස් මත්කුඩු මිළට ගෙන ඇති බවත්, එලෙස යාමේදී මජං සහ ග්‍රීස් තැවරුණු නඩත්තු කටයුතු වලට අඳින ඇඳුම් කට්ටලය භාවිතා කර ඇති බවත්, අසළ නිවසක කැඩුණු වාහනයක් සෑදීමට යන බව පවසමින් මාර්ග බාධක වල ‍රාජකාරියේ නියුතු නිලධාරීන් මුලාකර ඇති බවත් පරීක්ෂණ වලදී හෙළිව ඇත.

මොහු තදින්ම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී ඇති බවත්, දිනකට රුපියල් 20,000ක් පමණ වැයකර මත්කුඩු පාවිච්චි කර ඇති බවත් පොලිසිය පවසයි.