
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සමඟ රාජකාරි කළ නොහැකි බව එහි කොමසාරිස්වරුන් තිදෙනකු ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිට ලිඛිතව දැනුම් දී ඇත.
කොමසාරිස්වරුන් වන ආචාර්ය විජිත නානයක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි හා කලුපහන පියරතන හිමිගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.
කොමිසමෙි සභාපතිනිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැනිව කටයුතු කරන බවත් කොමිසමේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් නොදී පෞද්ගලිකව ඇගේ අභිමතය පරිදි කටයුතු කරන බවත් මෙම කොමසාරිස්වරුන් යැවූ ලිපියේ සඳහන් වේ.
කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයන් ගන්නා තීන්දු දිගින් දිගටම නොසලකා හරිමින් සභාපතිනිය කටයුතු කිරීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ කොමිසමේ යෝජනා මාර්තු මාසයේදී අනුමත නොකිරීමට සාමාජිකයන් කටයුතු කළ බව ද ඔවුහු කියා සිටිති.
සභාපතිනිය කොමිසමේ සාමාජිකයන්ට ඇහුම්කන් නොදීම නිසා ඇයගේ කිසිදු තීන්දුවකට සිය අනුමැතිය නොදීමට ද මෙම කොමසාරිස්වරුන් තිදෙනා තීන්දු කර තිබේ.
ඇය ජිනිවා මානව හිමිකම් කොමිසමේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන් මෙලෙස හැසිරෙන බවද මොවුහු සඳහන් කරති. එම නිසා වහාම මේ ගැන අවධානය යොමු කරන ලෙස ද මෙම කොමසාරිස්වරු ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාපතිනිය ද සමඟ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත අතර ඉන් තිදෙනකු මෙලෙස සිය අත්සනින් යුතුව ලිපියක් යොමු කර තිබේ.

