හිටපු කොටි සාමාජිකයන් තිදෙනෙකුට අධිචෝදනා


(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)

2009 වසරේ යුද සිරකරුවන් ලෙස එල්.ටී.ටී.ඊ අත්අඩංගුවේ සිටි නාවික හමුදා සහ යුද හමුදා සෙබළුන් 26 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනකු සඳහා අධිචෝදනා බාරදීම අද (24) වවුනියාව මහාධිකරණයේ දී සිදුවිය.

වවුනියාව මහධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා ඉදිරියේ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ යුද සිරකරුවන් ලෙස අත්අඩංගුවේ සිටිදී සෙබළුන් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙත සංශෝධිත අධි චෝදනා පත‍්‍රයක් බාරදෙනු ලැබීය.

මෙලෙස අධිචෝදනා ලැබුවේ හිටපු එල්.ටි.ටි.ඊ බුද්ධි සාමාජිකයින් වන මදී අරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ සිවසතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් හටය.

2009 ජනවාරි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සැකකාර හිටපු බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබළුන් 26 දෙනා විශ්වමඩු , මල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩි තබා ඝාතනය කර සීනි සහ පෙට‍්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත‍්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඝාතනය කළ හමුදා සෙබළුන්ගේ ඩි.එන්.ඒ සාම්පල හෝ ලබාගැනීමට නොහැකිවන ලෙස සීනි සමඟ පෙට‍්‍රල් දමා පුළුස්සා තිබූ බවට අනාවරණය වූ බවට ත‍්‍රස්ත විමර්ශන ඒකකය පෙන්වා දුන්නේය.

අවසන් යුද සමයේදී එල්.ටී.ටී.ඊ ග‍්‍රහනයෙන් කිලිනොච්චි නගරය යුද හමුදාව විසින් අත්පත් කරගත් අවස්ථාවේ යුද සිරකරුවන් ඝාතනය කර සිරුරු පුළුස්සා දමන ලෙස එල්.ටි.ටි.ඊ නායකයින් විසින් ලබාදුන් උපදෙස් අනුව අත්අඩංගුවේ සිටි එම සෙබළුන් 26 දෙනා ඝාතනය කර ඇති බවද ත‍්‍රස්ත විමර්ශන ඒකකය පැවසීය.

එල්.ටී.ටී.ඊ අත්අඩංගුවේ සිටි හමුදා සාමාජිකයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ සැකකරුවකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය වී ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ ප‍්‍රථම නඩු විභාගය මෙය වන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පෙනී සිටියේය.

ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා ඇතුළු නිලධාරීහු අධිකරණයේ පෙනී සිටියහ. නඩු විභාගය නැවත අද (25) දිනයේ කැඳවීමට නියමිතය.