හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි


(යොහාන් භසුර)

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත් ආදෝලනාත්මක චරිතයක් වූ මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

‘කොවිඩ්’ ආසාදනය වීමෙන් සතියකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට 65 වැනි වියේ පසුවිය.

1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා විදේශ කටයුතු සහ මුදල් යන වඩාත් භාරධූර අමත්‍යංශ ඇතුළු අමාත්‍ය ධූර රැසක් හෙඹවූ ප්‍රබල දේශපාලන චරිතයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකරයා ලෙස 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරීපත්විය.

1994 වසරේ පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ලැබූ ඒ මහතා ඉන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයන්හී වරින් වර විවිධ අමාත්‍ය ධූරවල කටයුතු කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් රජයෙන් 2007 වසරේ ඉවත් කිරීමෙන් පසුව ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයට එකතු වූ අතර ඒ මහතා අවසන් වරට 2015 වසරේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

අවසන් වරට 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී සමඟි ජනබලවේගය පක්‍ෂයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඒ මහතා එම ලැයිස්තුවෙන් සහ පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වන බව නිවේදනය කළේය.

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අද (24) සිදුකෙරිණි.

එම අවස්ථාවට දේශපානලඥයින් ඇතුළු මංගල සමරවීර මහතාගේ හිතවතුන් රැසක් එක්ව සිටියහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, මුජිබර් රහුමාන්, එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය යන මහත්වරුන්ද ඒ අතර විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)