හරකුන් පාරෙ ගෙනියන්න බෑ කියා රාලහාමිලා දෙන්නා 7000ක් කඩාගෙන


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බලපත්‍රයක් නොමැතිව මහමග ගවයන් රැගෙන යෑම නීති විරෝධී ක්‍රියාවක් බව පවසා ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීම සඳහා ගව හිමියාගෙන් රුපියල් හත්දහසක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන පොලිස් නිලධාරීහු  දෙදෙනෙක්  කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරී කරන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා කන්තලේ පේරාරු ළමා උද්‍යානය අසල රාජකාරියේ නිරතව සිටියදී එළ ගවයන් දෙදෙනකු දක්කා ගෙන යමින් සිටි ගවහිමියා අල්ලාගෙන ඇත.

එළ ගවයන් දෙදෙනා සමග  ගව හිමියා මුදා හැරීම සඳහා රුපියල් දස දහසක මුදලක් ඉල්ලා පසුව එම මුගල රුපියල් හත්දහස දක්වා අඩුකරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 අදාළ මුදල ලබා ගැනීමට ගව හිමියා සමග පොලිස් නිලධාරින් දෙදෙනා ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් ගව හිමියාගේ බිරිඳ ඇයගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා මේ බව දැක ඇය අත තිබූ ජංගම දුරකථනය උදුරාගෙන එම වීඩියෝ දර්ශන මකා දමා ඉල්ලා ගත් රුපියල් හත්දහසක මුදල සහ එම ජංගම දුරකථනය ආපසු බාර දී ඇතැයි පොලිසිය කියයි.