සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ඕනෑ


(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන සැළසීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්.අබේසුන්දර මහත්මිය අද (24) පැවසුවාය.

සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් රැකගැනීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු නොකළ හොත් අප්‍රේල් මාසයේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙන බව කී ඇය එම ව්‍යාපාර රැකගැනීමට නම් ආනයන සීමා ලිහිල් නොකළ යුතු බව ද සඳහන් කළාය.

අර්ථිකය බලහත්කාරයෙන් සංකෝචනය කිරීම නිසා උද්ධමනය ඉහළ යෑමෙන් වර්තමාන කඩා වැටුණු ආර්ථික තත්වයට පත්ව ඇති බවත් මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දැමීමට සිදුවන බවත් අබේසුන්දර මහත්මිය කීවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330 ඉතාමත් සුළු මුදලක් කී අබේසුන්දර මහත්මිය ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසි කඩකළ හොත් සම්පූර්ණ ණය මුදල වන ඩොලර් බිලියන 2.9 ක ප්‍රමාණයේ ඉතිරිය නොලැබීමේ අවදානමක් ඇති බව ද කීවාය.

අයි.එම්.එෆ්. ණය මුදල සම්මත වීමත් සමඟ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1.9 ක් සහ ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආණ්ඩුව බලාපොරොත්තු වන බව කී ඇය සඳහන් කළේ ඩොලර් බිලියන 52 ක් පමණ ණය වී ඇති ශ්‍රී ලංකාව ඉදිරියේදී ඩොලර් බිලියන 7 ක පමණ ණය බලාපොරොත්තු වන බවත්ය.  

ආණ්ඩුව ණය ගෙවීමට ණය ගන්නා විට රතිඤ්ඤා පත්තුකර කිරිබත් කෑමට ඇතමුන් කටයුතු කිරීම පිළිබඳව පුදුම දුකක් ඇති බව වන බව කී අබේසුන්දර මහත්මිය රට වර්තමාන බංකොළොත් තත්වයට පත්කළේ ද අද ණය ගන්නා පිරිස බව ද වැඩි දුරටත් සඳහන් කළාය.