(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි.
එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සහ එම නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සභාපති කේ.ඒ.බී. අභයකීර්ති යන මහත්වරුන් අද (30) දින පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූහ.
දැනට රටතුල පවතින සහල් හිගයට හේතුව සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් වලට වී නොමැති වීම බව පෙන්වා දුන් ඔවුන් හැකි ඉක්මණින් තමන්ට වී තොග නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
සතොස සහ සමූපකාර වල නාඩු සහ සම්බා සහල් හිගයක් ඇතිවෙමින් තිබෙන බව පෙන්වා දෙන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා අතිරික්තයක් ඇති බවද කියති. මෙම අවස්ථාවේ ජනතාව කීරි සම්බා පරිභෝජනය නොකරන බව පෙන්වා දෙන ඔවුන් මහාපරිමාණ වී මෝල් හිමියන්ට සැපයීමට හැකිවී ඇත්තේ රටේ සහල් ඉල්ලුමෙන් සීයට විසිපහක ප්‍රමාණයක් පමණක් බවද කියති.
මීට මාස කීපයකට පෙර කීරි සම්බා වී මිළ නාඩු සහ සම්බා වී මිළට වඩා අඩු අගයක් ගත් බව පවසන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා මිළ රුපියල් 125 ක් වීම හේතුවෙන් මේ වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා කිලෝවකින් සමාන්‍යයෙන් ලබන ලාභයට අමතරව රුපියල් 20-25 දක්වා අමතර ලාභයක් ලබන බව පෙන්වා දෙති.
මාධ්‍ය හමුව සදහා සමස්ථ ලංකා සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්.ඩී. රනිල් තුෂාර සහ එහි භාණ්ඩාගාරික එස්.සී. රූපසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

