( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන්ට එරෙහිව මහාධිකරණය විසින් පනවා ඇති වසර තුනක සිර දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම් අද(08) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු සඳහන් කර සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 650 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පැවරූ බවයි.
එම නඩු විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම චෝදනාවලට තමන් වරදකරුවන් කොට වසර තුනක සිර දඬුවම් නියම කර දඩ මුදල්ද නියම කළ බව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අධිකරණ හමුවේ කියා සිටියේය.
එම දඬුවම නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් මේ හේතුවෙන් තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ.

