සිමෙන්ති උපරිම සිල්ලර මිල ගැසට් කරයි


( +++ මහින්ද නිශ්ශංක)

මෙරට නිෂ්පාදිත කිලෝ 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 1005 ක් වශයෙන් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සිමෙන්ති තොග වශයෙන් ආනයනය කර මෙරටදී ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 950 ක් වශයෙන් ද සිමෙන්ති කොට්ට වශයෙන් ආනයනය කර අලෙවි කිරීමේදී සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 930 ක් වශයෙන්ද විය යුතු යැයි මෙම ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.

වැට්බදු අඩු කිරීමේ වාසිය සිමෙන්ති සමාගම් පාරිභෝගිකයාට ලබා නොදීම නිසා මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගත් බව අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් දෙසැම්බර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පාලන මිල නියම කර ඇත.