සිඟිති දියණිය පණ පිටින් වැළලූ මව අත්අඩංගුවට



(රංජිත් රාජපක්ෂ)             
           

දින 28ක් වයසැති සිඟිති දියණියක් පණ පිටින් ගෙවත්තේ වළ දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ   මව සැක පිට අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
 
සැකකාර මව හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නීය.
 
ඇය ඊයේ (02) දියණිය  නිදි කරවා පසුව ගෙවත්තේ  කසල බැහැර කිරීමට කපා  තිබූ වළකට දමා  පස් වලින් වළ වසා දමා  ඇතැයි පොලීසය පවසයි.
 
සිඟිති දියණිය  නොමැති බව දැක  සැකකාරියගේ මව සහ ඥාතීන් සොයා බලන අවස්ථාවේ තමා දියණිය  ගෙවත්තේ වළ දැමු බව පවසා ඇතැයි පොලීසය පවසයි.
 
අනතුරුව ඥාතීන් එක්ව බිළිදිය ගොඩ ගෙන ඇති අතර  ඇයට මව් කිරි දෙමින් සිටියදී ඇය මිය ගොස්  ඇතැයි පොලීසය සඳහන් කරයි. 
 
තම සැමියා සමඟ පවතින ආරවුලක් හේතුවෙන් දියණියව මෙසේ වැළලූ බව සැකකාරිය පොලිසියට පවසා තිබේ. 
 
ඝාතනයට අනුබල දීම සහ සිද්ධිය වසන් කිරීම  සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ මව ද හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා හැටන් මහෙස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.