සා.පෙළ සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව


(අංජුල මහික වීරරත්න)

2023 වසරේ ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (03)පැවැත්විණි.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත  2024 වර්ෂයේ  අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි  කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ. 

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත්  කරමින් බස්නාහිර  පළාතේ අධ්‍යාපන කලාප  11ක  ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110කට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

මේ යටතේ ශිෂ්‍යත්වලාභියකු අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රුපියල් 5000 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360 කි.