(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ග වල ස්ථානීය දඩ "Govpay" ඇප් එක හරහා ගෙවීමේ ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අදාල දඩ මුදල් වල කිසිම වෙනසක් සිදුකර නැතැයිද ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවීම සිදුකළ හැකි යැයි ද අමාත්‍යවරයා කීය. මෙම ක්‍රමය නිසා දඩ ගෙවන තැනැත්තාට තැපැල් කාර්යාල ගානේ රස්තියාදු වීමට සිදු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාල දඩ ගෙවීම් ක්‍රමවේදය සාර්ථක කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට අදාල "ඇප් එකෙන්" දඩ මුදල ලබා ගැනීමට හැකි ජංගම දුරකථන ලබාදීමට නියමිත බව ද පැවසීය.
ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බව ද අමාත්‍යවරයා කීය. ඉදිරි මාස කිහිපය ඇතුලත සෙසු පොලිස් ස්ථානවලට ද ජංගම දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධයෙන් ඩිජිටල් අමාත්‍යාංශය මඟින් පුහුණු වැඩසටහන් කිහිපයක් පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිත අතර, අගෝස්තු මස 4 වන දිනට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය