සහරාන්ගේ ගෝලයින් තිදෙනෙක් අගෝ 19 දක්වා රිමාන්ඩ්


(දිනේෂ් උපේන්ද්‍ර)
                                                                                                
ජාතික තව්හීත් ජාමාත් නායක සහරාන් හෂීම් ඇතුළු ත‍්‍රස්තයින්ට පුපුරණද්‍රව්‍ය සැපයූ බවට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට කරුණු කියමින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනෙකුට යළිත් අගෝස්තු 19 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද(05) නියම කළාය.
 
අදාළ නඩුව අද(05) නැවත කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.
 
යළි එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ කටුපොත කැකුණගොල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූ මොහොමඞ් යූසුෆ් හා අබ්දුල් කාදර් මොහොමඞ් අජ්මීර් නැමැත්තන් දෙදෙනෙකු හා ඔවුන් දෙදෙනා සමගින් බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පුපුරණ ද්‍රව්‍ය සැපයූ බව කියන වැන්සස් ලාසරස් නැමැත්තාය.
            
එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ප‍්‍රගතිය රැගත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉදිරිපත් කළ සැකකරුවන් සම්බන්ධ විමර්ශන තවදුරටත් පවත්වාගෙන යන බවයි.
            
එහිදී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනතු බාරයේ දින 90ක් රඳවාගෙන ප‍්‍රශ්න කරන පුද්ගලයින් අතර 6 සහ 7වන සැකකරුවන් සහාරාන් නැමැත්තාගේ තව්හිද් සංවිධානයේ මූලික සාමාජිකයින් 11 දෙනා අතර සාමාජිකත්වය ලබාගෙන ඇති පුද්ගලයින් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියාසිටියේය.
            
මෙම නඩුවේ පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ අතර නීතිඥ කැලූම් හෙට්ටිගමගේ, චම්පික ලසිතකුමාර, ආසිරි ප‍්‍රනාන්දු යන මහත්වරු පෙනීසිටියහ.