සහරාන්ගේ කල්ලිය ඉන්දියාවේ තවත් ප්‍රාන්ත වලට ගිහින්


(ඉන්දියා ටුඩේ/හින්දුස්තාන් ටයිම්ස් අනුග්‍රහයෙනි)

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් කළ පුද්ගලයන්, ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පුහුණුවීම් ලැබීම සඳහා ඉන්දියාවට යන්නට ඇතැයි යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.

“ඔවුන් ඉන්දියාවේ කාශ්මීරය, බැංගලෝරය සහ කේරළය වැනි ප්‍රදේශ වලට ගිහින් තියෙනවා. ඒ ගැන අපට තොරතුරු තියෙනවා” යයි බී.බී.සී. පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා පවසා තිබේ. මෙම බෝම්බකරුවන් ඉන්දියාවට ආගිය ගමන් වල සැබෑ අරමුණ කුමක්ද යන්න දැන්ම කිව නොහැකි බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

“සමහර විට කිසියම් ආකාරයක පුහුණුවක් ලැබීමට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවෙන් පිටත තියෙන ඔවුන්ගේ අනෙකුත් අනුගාමී සංවිධාන සමග සම්බන්ධ වීමට වෙන්න පුළුවන්” යයිද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

වසර 10 කට වැඩි කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනකු පමණ වගකිව යුතු බව කියැවේ.

මෙම බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු අනෙකුත් රටලින් කරන ලද දැනුම් දීම් පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දුන් යුද හමුදාපතිවරයා එම තොරතුරු ලැබී තිබුණු බව තහවුරු කළේය.

“තත්ත්වය පාලනය කිරීම සහ බුද්ධි තොරතුරු ගිහින් තියෙන්නේ එකිනෙකට වෙනස් මාවත් දෙකක. තවත් කොටසක් තවත් අතක ගිහිල්ලා. කොහොම වුණත් එතැන විශාල හිදැසක් තිබිලා තියෙන බව දැන් හැමෝටම පෙනෙනවා” යයි ද හමුදාපතිවරයා පැවසීය.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් තමිල්නාඩුවේදී මෙන්ම කේරළයේදීත් කළ සෝදිසි වලින් බොහෝ තොරතුරු සොයගන්නා ලදි. එම තොරතුරු වලින් හෙළිදරව් වූයේ පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේදී සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව ක්‍රියාත්මක කළ අය සහ ඉන්දියාවේ ඇතැම් පුද්ගලයන් අතර සම්බන්ධතා පැවැති බවයි.
 
රියාස් අබුබකර් නැමැත්තා කේරළයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමිල්නාඩුවේත් ‘ඉස්ලාම් රාජ්‍යය’ රහසේ ක්‍රියාත්මක වන බව ඉන්දීය විමර්ශන ඒජන්සිය තහවුරු කළේය. තමන් ශ්‍රී ලංකාවේ බෝම්බකරුවන් වූ සහරාන් හසීම් සහ සකීර් නායික් දෙදෙනාව අනුගමනය කරන බව රියාස් අබුබකර් නැමැත්තා පිළිගෙන තිබිණ.

මේ අතර ඉන්දියනු ආරක්‍ෂක ඒජන්සි නිලධාරීන් පවසන්නේ මෙම අයි.එස්. (ඉස්ලාමීය රාජ්‍යයේ) ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා තමන් සෞදි අරාබියානු සගයින් සමග දිගින් දිගටම සම්බන්ධ වී සිටින බවයි. ශ්‍රී ලංකාවේ පවතින ජාතික තව්හීත් ජමාත් සංවිධානවල කේරළ සහ කොයිම්බතුර් ස්වරූප ඉන්දියාවේ පවතින බවත් ඉන්දීය ආරක්‍ෂක අංශ තහවුරු කරගෙන සිටී.

කෙසේ වෙතත් සහරාන් හසීම්ගේ ඉන්දීය ගමන් වල අරමුණු හෝ ඔහු ඉන්දියාවේදී සම්බන්ධකම් පැවැත්වූ අයගේ නම් ගම් හෙළිකිරීම ඉන්දීය ආරක්‍ෂක බලධාරීහු අකමැත්ත ප්‍රකාශ කරති. ඒ ගැන කළ විමසීමකදී එක් නිලධාරියකු කියා සිටියේ සහරාන් හසීම් තමිල්නාඩු තව්හීත් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වා ඇතත් තමිල්නාඩු තව්හීත් ජමාත් සංවිධානය කිසිම ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවයි.