(අංජුල මහික වීරරත්න)
2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළේය.
මේ වනවිට ඇතැම් ගොවීන් රජයෙන් පොහොර සහනාධාර ගන්න නම් රාජ්‍ය අංශයෙන්ම යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගත යුතු යැයි සිතා කටයුතු කරන බැව් පෙනීගොස් තිබෙන බවද නමුත් පොහොර මිලදී ගැනීමේ දී ගොවි ජනතාවගේ පහසුව උදෙසා ඔවුන්ගේ අභිමතය පරිදි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
දැනට පෞද්ගලික අංශය විසින් අලෙවි කරන යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9000 දක්වා අවම වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් රජය විසින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇතැයි ද ගොවීන් රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගත්තත්, එය සහනාධාර ලබා ගැනීමට බාධාවක් නොවන බව අමාත්‍යාංශය නිවෙිදනය කරයි.
ඒ අනුව ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් පොහොර මිලදී ගැනීමට සහනාධාර මුදලක් ලබා දීමට රජය කටයුතු යොදා ඇත.
එම නිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදී ගැනීම ගොවි අභිමතය පරිදි සිදු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

