
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උප්පාරු ග්‍රාම නිලධාරි වසමේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු අක්කර 12ක වපසරිය සහිත උප්පාරුවත්ත ඉඩමෙහි කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනය ඉදිකිරීමට 2017-06-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
මේ වන විට එම විද්‍යායතනය සඳහා සිදු කරනු ලැබ ඇති ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 25.45 ක පමණ මුදලක් වැය කරනු ලැබ ඇත. පසුව පැන නැගී ඇති තත්ත්වයන් හේතුවෙන් එම විශ්ව විද්‍යාල විද්‍යායතනය සැලසුම් කළ පරිදි එම ඉඩමේ පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවට වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය (UNIVOTEC) විසින් තීරණය කරනු ලැබ ඇත.
එබැවින්, කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු නතර කිරීමටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා වී ඇති පරිදි විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ එහි ඉදිකිරීම් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

