
(ඉන්දිකා රාමනායක, ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රටේ පවතින ආර්ථික අර්බුද වහා විසදන ලෙස ඉල්ලා මිරිහාන එදිරිසිංහ මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවකට නැගී පුද්ගලයෙකුට විදුලිසැර වැදී (03) දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාර , පළමු පටුමගේ අංක 50 / 52 හි පදිංචි, නානායක්කාර බෝපේ රුවන් ප්‍රියදර්ශන වීරතුංග නමැති (53) හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කියයි.
වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වන මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නකු වන අතර (02) දා මධ්‍යම රාත්‍රියේ සිට එම ජාලා තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව දවස පුරා නොසතුටින් පසුවී ඇතැයි පැවසේ.
මරණකරු ජනාධිපති නිවෙස දෙසට දිව යන්න උත්සහා කළ අවස්ථාවේ එය වැළැක්විමෙන් පසු ඔහුගේ නිවෙසට ඇතුළුවන මාර්ගය අසල සවිකර ඇති ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවකට නැග ඇති අතර එම අවස්ථාවේදී විදුලි සැර වැදී බිමට ඇද වැටී මෙසේ මියගොස් ඇතැයි පැවසේ .
සිද්ධිය වන අවස්ථාවේ දී මෙම පුද්ගලයාගේ පුතුන් දෙපල විදුලි කණුව අසලට පැමිණ ඉන් බසින ලෙසට ආයාචනා කර ඇතත් ඊට අවධානය යොමු කර නොමැති බවද පැවසේ .
පසුව අනතුරට පත් පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය .


