බිඟුන් මේනක ගමගේ
පෞද්ගලික බස් හිමියන්ට අධිවේගී මාර්ගයේ ධාවනයට සුඛෝපභෝගී බස් රථ 1000 ක් ණය සහන පදනමින් ලබාදීමට අයවැයෙන් කර ඇති යෝජනාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ද අදාළ වන පරිදි අයවැය සංශෝධනයක් කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත.
මෙම යෝජනාවට අනුව පෞද්ගලික අංශයට බස් රථ 1000 ක් මිලට ගැනීමට අවස්ථාව සලසා දී ඇති නමුත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට යෝජනා කර ඇත්තේ බස් 250 ක් යැයි ද එය තනිකරම ලංගම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් යැයි ද එහි සභාපති සේපාල ලියනගේ මහතා ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් කර තිබේ.
පෞද්ගලික අංශයට බස් රථ 25,000 ක් මේ වනවිට තිබුණ ද ලංගම ඇනියේ ඇත්තේ බස් රථ 5,000 කටත් අඩු සංඛ්‍යාවක් යැයි ද එය 25,000 දක්වා වර්ධනය වන තෙක් පෞද්ගලික අංශයට අලුතින් මගී ප්‍රවාහන බලපත් නිකුත් නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ද ප්‍රවාහන බලධාරින්ගෙන් ද දිගින් දිගටම වෘත්තීය සංගම් ඉල්ලා සිටියේ යැයි ද ලියනගේ මහතා පවසයි.
2019 අයවැයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 3400 ක් වෙන්කරන්නැයි වෘත්තිය සමිති ඉල්ලා සිටි පරිසරයක ඒ ගැන නොතකා පෞද්ගලික අංශයට විශේෂ සහන සලසන ක්‍රියාවලියකට ආණ්ඩුව අවතීර්ණ වීම කනගාටුදායක යැයි ද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ ඇතැයි ද මේ ගැන වහාම මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.
එම ලිපියේ පිටපත් මුදල් හා ප්‍රවාහන ඇමැතිවරුන්ට ද යොමු කර ඇත.

