සතොස වෙනුවෙන් නීතිපති නෑ


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සිය සමාගම  ආනයනය කල සුදු ළූණු  කන්ටේනර්  වංචනිකව අලෙවි කිරීමට එරෙහිව එන්රිච් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකාර සතොස ආයතනය වෙනුවෙන්  තමා  පෙනී නොසිටින බව   නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම් දුන්නේය.

එසේම  එම පෙත්සමේ වගඋත්තරකාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ  නියෝජනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  කරුණු සලකා බලමින් සිටින බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ  නිර්මලන් විග්නේෂ්වරන් මහතා  අධිකරණයට දන්වා සිටියේය.

මේ හේතුවෙන් නීතිපති  දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ  වගඋත්තරකාර ස⁣.තො.ස ආයතනයේ ලිපි ගොනු ද නැවත එම ආයතනය වෙත යැවීමට   පියවර ගෙන ඇතැයිද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාසඳහන් කළේය. 

මෙම පෙත්සම ගාමිණී අමරසේකර, ඒ,එච්,එම්,ඩී නවාස් සහ අචල වෙන්ගපුලි යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ   කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයා  මෙම දැනුම් දීම කරන ලදි. 

සුදු ළූණු  වංචාව  සම්බන්ධ නඩුවට පාදක වූ සුදු ලූනු අලෙවියෙන්  උපයා ගත් , දැනට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය  හමුවේ තැන්පත් කර ඇති  රුපියල් ලක්ෂ හැත්තෑ හතරකට අධික මුදල  මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය  අවසන් වන තෙක් ආපසු ලබා ගැනීමට  කිසිදු පියවරක් නොගන්නා බව එම සුදු ලූනු තොග සතොස ආයතනයෙන් මිලට ගත් සමාගම හා එහි හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ   පොරොන්දුවක් ලබා  දුන්නේය.

තම සමාගම ආනයනය කළ සුදු ලූනු කන්ටේනර් 19ක් අයුතු සහගත ලෙස වරායෙන් බැහැර කිරීමෙන් තම සමාගමට සිදු වූ අලාභය හා වන්දි අයකර දෙනමෙන් ඉල්ලා මෙම මූලික  පෙත්සම් ගොනු කර  ඇත. 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සතොස ආයතනය , ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා  ලබන ජනවාරි 19 කැදවීමට  ද නියම කෙරිණ.