( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සත්ත්ව ආහාර ලෙස ලේබල් කර ඉවත් කරනු ලැබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් 15,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද කිරිපිටි ලෙස යලි පැකට් කර වෙළෙඳපලට යැවීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.
පසුව එම කිරි පිටි පැකට් 2250 ක් ඇතුලුව කිලෝ ග්‍රෑම් 15,000 කට ආසන්න ප්‍රමාණය වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ් අංශ නිලධාරීන් හෙලිකරගත් තොරතුරු අනුව එහි අණ දෙන නිලධාරි එම්.ආර. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය කොළඹ කඳවුරේ නිලධාරී පිරිසක් ඊයේ 4 සවස වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේ කිරිපිටි ගබඩාව සහිත නිෂ්පාදනාගාරය වැටලීය.
අයර්ලන්තයේ නිෂ්පාදනය කළ බව සදහන් කිරි පිටි පැකට් 2250 ක් හා විශාල ඇසුරුමක තිබූ කිලෝ 14000 ක් පමණ ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. විශාල කිරිපිටි ඇසුරුමේ ඒවා සත්ත්ව ආහාර ලෙස ඉවත් කළ බවට සටහන් වන බවටද විශේෂ කාර්ය බලකාය සදහන් කළේය.
වේවැල්දෙනිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් මෙම ගොඩනැගිල්ලේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම ජාවාරම කරගෙන යනු ලැබ ඇතැයි අනාවරණයවූ අතර කිරිපිටි පැකට් කිරීමේ යෙදී සිටි කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. නිවස හිමි කාන්තාව ණයකට හිලව්වක් වශයෙන් තම නිවස ඇතුලු ගොඩනැගිලි කොළඹ ව්‍යාපාරිකයා වෙත ලබා දී ඇති බවද හෙලිවී ඇති අතර ව්‍යාපාරිකයා ගෙනවිත් දෙන සත්ත්ව ආහාර සදහා වන කිරිපිටි මෙහිදී විදේශයෙන් ගෙන්වූ ඒවා ලෙස ඇසුරුම් කර යලි කොළඹට යවා ඇති බවද පරීක්ෂනයේදී හෙලිවී තිබේ.
අදාල කිරිපිටි තොගය හා සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත බාරකරනු ලැබූ අතර එම කිරිපිටි තොගය, යන්ත්‍ර සූත්‍ර ඇතුලු ගබඩාව ඊයේ 4 රාත්‍රි මුද්‍රා තබනු ලැබීය. මෙම මස 7 වැනිදා සැකකරුවන්ට එරෙහිව තුල්හිරිය අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.