සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක්


(අංජුල මහික වීරරත්න)

පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ වල සහය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවයකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම අනු කමිටුවේ දෙවැනි පියවර බව විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.

වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනු කමිටුවේ තුන්වන පියවර බව ද අලි සබ්රි  මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සාක්ෂාත්  කරගැනීම බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.