(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඒකාබද්ධ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා පවත්වාගෙන යන සාකච්ඡා මාලාවේ මීළඟ සාකච්ඡාව විපක්‍ෂ නායක කාර්යාලයේ දී මෙම මස 14 වැනිදා පැවැත්වෙන බව එම සාකච්ඡා කමිටුවේ සාමාජික, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, ප‍්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම සහ විශ්ව විද්‍යාල ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර, තමන් සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුනුත් සහභාගී වීමට නියමිත බව ද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
මේ වන විටත් එහි මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා පක්‍ෂ දෙකෙහිම සාමාජිකයින්ට විශාල උවමනාවක් සහ අවශ්‍යතාවයක් තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.
තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

