ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් සඳුදා (7) පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට බාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද (4) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේ දී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ක්‍රියාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලා මුදල් අවප්‍රමාණයට ලක්වීම, තාක්ෂණික හා යටිතල පහසුකම් ඌණතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.
අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ආයතනවල ප්‍රධානින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
(28535)

